X

Print

LATEST NEWS

අනුරාධපුරේ සියලු සුරාසැල් වැසේ CTB බස් වර්ජනයක් ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළ ඉහළට අද ඉන්ධන මිළ වෙනස් වෙයි ? බුද්ධික පතිරණ ඇතුළු තිදෙනකුට ඇමති පුටු අද සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මකයි වර්ෂාව නිසා ශ්‍රී ලංකා පකිස්ථාන තරඟයට බාධා " වඩු මඩු තහනම් කරනවා ,ව්‍යාපාරිකයින්ට ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් දෙනවා" - ජනාධිපති කියයි නැගනහිර පළාත් ආණ්ඩුකාරධූරය ශාන් විජයලාල්ට ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අද නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපයට ශ්‍රීලංකාවට ලකුණු 34ක ජයක් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර AJM මුසම්මිල්

 

 

 

උමගක ජීවත්වෙන මිනිස්සු !


Views - 4996 |Sunday 23rd April 2017 14:42:29


68

"ලාස්‌ වේගාස්‌" ලෝකයේ විනෝදකාමීම නගරයයි. ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙහි ජනාකීර්ණතම නගරය වන ලාස්‌වේගාස්‌ නොහොත් වේගාස්‌, කැසිනෝ, රාත්‍රි සමාජශාලා, විනෝද ක්‍රීඩා, සාප්පු සංකීර්ණවලින් පිරුණු අපූරු නගරයකි. ලෝකයේ වැඩිම සුඛෝපභෝගී හෝටල්, කැසිනෝහල්වලින් සමන්විත මේ නගරය රාත්‍රියට පමණක්‌ නොව දිවා කලටද ධනවතුන්ගේ විනෝද ආකරයකි. එහෙත්.. දහවලත් රාත්‍රියත් මුළුල්ලේ දිදුලන විදුලි පහන්වලින් යුතු වේගාස්‌ නගරයට යටින් කර්කෂ, අන්ධකාර කතාන්දරයක්‌ද පවතියි.

ඒ ලාස්‌ වේගාස්‌ නගරයේ "උමං වැසියන්" ගේ කතාන්දරයයි. ලාස්‌ වේගාස්‌ නගරයට පැමිණෙන හදිසි ජලගැලීම්වලින් නගරයට පැමිණෙන සංචාරකයන්ට බාධා නොවීම පිණිස 1990 අවුරුද්දේ පොළව යටින් දිවෙන ජලාපවහන උමං පද්ධතියක්‌ ගොඩනැඟිනි. අද වන විට මේ උමං පද්ධතිය ලාස්‌ වේගාස්‌ නගරයේ නිවාස අහිමි ජනතාව වෙසෙන අන්ධකාර මුඩුක්‌කුවක්‌ බවට පත් වී ඇත. බොහෝ විට මේ උමං වැසියන් බවට පත් වෙන්නේ රැකියා අහිමි, නිවාස අහිමි දුප්පතුන්ය. එසේත් නැතිනම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ, හිරෙන් පැන ආ වරදකරුවන්ය. අද වන විට "ලාස්‌ වේගාස්‌ උමං වැසියන්"ගේ ජනගහණය 1500 ද ඉක්‌මවා ඇත.

"ස්‌ටීවන්" සහ ඔහුගේ පෙම්වතිය වන කැතරින් ලාස්‌ වේගාස්‌ උමගේ වැසියන්ය. ස්‌ටීවන් උමං ජීවිතයට පැමිණියේ මීට අවුරුදු තුනකට පෙරය. ඒ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ඔහුගේ රැකියාව අහිමි වීම නිසාය. ඔහු දැන් මත්ද්‍රව්‍යවලින් මිදී කැසිනෝහලක සුළු සේවකයෙකු ලෙස රැකියාව කරයි. එහෙත් ඔහුටත් කැතරින්ටත් හිසට වහලක්‌ නැත. ඔවුන්ට සෙවණ වූයේ ලාස්‌ වේගාස්‌ ජලාපවහන උමගයි. උමගේ වර්ග අඩි හාරසීයක ඔවුන්ගේ නිවස තුළ ලී රාමුවලින් අටවා ගත් යුගල ඇඳක්‌ද, ඉවත දමන ප්ලාස්‌ටික්‌ පෙට්‌ටිවලින් තනාගත් පොත් රාක්‌කයක්‌ද තවත් එවැනි අඩුමකුඩුම රාශියක්‌ද ඇත.

"අපි මේ ඇඳට ලී රාමු හොයා ගත්තේ අහක දාන එලවළු පෙට්‌ටිවලින්.. මෙට්‌ටය හම්බ වුණේ ලොකු නිවාස සංකීර්ණයකින් අයින් කරපු බඩු ගොඩකින්.. වෙන එකක්‌ තියා අපේ පොත් රාක්‌කයේ තියෙන පොත් පවා පෝසත් මිනිස්‌සු කියවලා විසි කරපු පොත් පත්.. එක මනුස්‌සයෙකුට කසළගොඩක්‌ තරම් වටින්නේ නැති දේවල් තවත් මනුස්‌සයෙකුට රත්තරන් වලටත් වඩා වටින දෙයක්‌ වෙන්න පුළුවන්නේ.."

ඔවුන්ගේ ජීවිත එබඳුය. ඒ ජීවිත කිසිසේත්ම පහසු නැත.

උමග තුළ අන්ධකාරයේ සිටින ගෝනුස්‌සන්, විෂකුරු දිවිමකුළුවන්, පිරිසිදු වාතාශ්‍රයක්‌ නැති කමින් උමග තුළ නිරන්තරව ඇතිවෙන ලෙඩ රෝග, විෂබීජ සමඟ සටන් කරමින් ජීවත්වන මේ දුප්පතුන්ට සොබාදහමද නිරන්තරව කෙණෙහිලිකම් කරයි. ලාස්‌ වේගාස්‌ නගරයට තදින් වැස්‌සක්‌ වහින හැම වරකම, තමන්ගේ සන්තකයම පොදි බැඳගෙන උමගින් පිට වෙන්නට මේ උමං වැසියන්ට සිදු වෙයි. නගරයට තදින් වැසි වැටෙන විට ජලාපවාහන උමග ඔස්‌සේ ගලා එන වතුරෙන් උමං ජන ජීවිතය සෝදා ඉවත් කරයි. එනිසා වහින්නට කලියෙන් තමන් සතු අඩුම කුඩුම පොදි බැඳගෙන උමගින් පිට වී කොහේ හෝ කූඩාරම් අටවා ගන්නට උමං වැසියෝ හුරු වී සිටිති. වර්ෂාව නිමාවී ජලය බැස ගිය පසු නැවතත් උමගට රිංගා තම හුරුපුරුදු නිවාස තනා ගනිති.

අවුරුදු දහසයක්‌ තිස්‌සේ ට්‍රක්‌ රථ රියදුරෙකු ලෙස සේවය කළ නැට්‌රෝවර් ලාස්‌ වේගාස්‌ නගරයට ආවේ තම බිරිඳ මියගිය පසුව ඒ කම්පනයෙන් මිදෙන්නටය. මාස තුනක්‌ යන්නට මත්තෙන් ඔහු මානසිකව බිඳ වැටුණු, ඉන්න හිටින්නට නිවසක්‌ද අහිමි අයාලේ යන්නෙකුගේ තත්ත්වයට ඇද වැටිණ.

"මම බීමට ඇබ්බැහි වුණා... ඊට පස්‌සෙ සූදුවට.. ඊට පස්‌සේ.. මගේ අතේ තියෙන අන්තිම තුට්‌ටු දෙකත් නැතිවෙන තැනට වෙනකල් මම සූදු අන්තුවෙක්‌ වුණා.. ඔය මොකක්‌ හරි වැඩක්‌ කරල මමත් කීයක්‌ හරි හොයනවා තමයි.. ඒත් ගෙයකට කුලිය ගෙවන්නයි, ලයිට්‌ වතුර බිල් ගෙවන්නයි, කන්නයි බොන්නයි හැම දේටම ඒ ගාන මදි.. ඒකයි මම උමගේ පදිංචි වෙන්න ආවේ.. දෙවියන් වහන්සෙට වුණත් මම නම් කියන්නේ මේ උමගට එන්න එපා කියලා.. මට වෙච්ච දේ හොඳටම ඇති.." නැට්‌රෝවර් පවසයි. "මේ ළඟදී කැලිෆොaනියාවලින් ආපු බස්‌ එකකින් දුසිම් දෙකක්‌ විතර සෙනග බැස්‌සුවා.. හැමෝම ගෙවල් නැති අය.. ඒ හැමෝම කෙලින්ම ආවේ උමගට තමයි.. කැලිෆොaනියා, ඇරිසෝනා, යූටා, නෙවාඩා.. ඔය කොයි ප්‍රාන්තයෙන් ආවත් දැන් දැන් ගෙවල් නැති අනාථයෝ මේ උමගට තමයි එකතු වෙන්නේ.."

උමං වැසියන් අතර බහුලම වසංගතය මත්ද්‍රව්‍යයයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් මෙන්ම විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට දායක වන්නන්ගෙන්ද උමං ජනගහනය පිරී ඇත. මේ අයුරින් බලන කල ලාස්‌ වේගාස්‌ උමං ජනගහනය සමාජ ප්‍රශ්න රැසක වාහකයන් බවට පත් වී ඇත.

අපිරිසිදු උමග තුළ නිරන්තරව බෝ වෙන ලෙඩ රෝග, මත්ද්‍රව්‍ය හා අසහනය, ආතතිය හේතුවෙන් ඇතිවන මානසික රෝග නිසා මේ උමං ජනගහනය පීඩා විඳියි. ඔවුන්ට සහන සලසන්නට ක්‍රියා කරන රාජ්‍ය නොවන සහන ආයතනද ඇත. වරින් වර උමං මාර්ග හරහා ගලන ගං වතුරෙන් ඉඳහිට රෝගී වන, මියයන පිරිස්‌ද නැත්තා නොවේ. පෙර සූදානමක්‌ නැති වෙලාවක ඇතිවෙන හදිසි වැස්‌සකින්, මැදියම් රැයක ගලන ගංවතුරකින් මියගිය මිනිසුන් හා කුඩා දරුවන් ගණනද බොහෝය.

"ඇන්ඩි" ත් ඔහුගේ පවුලේ අයත් උමං වැසියන්ය. "වහින කාලෙට උමග මර උගුලක්‌.. විනාඩි හතළිස්‌ පහක්‌ ඇතුලතවත් උමගින් පැන ගත්තේ නැත්තම් වතුරේ ගිලිලා මැරෙන්නයි වෙන්නේ.. පොඩි වැස්‌සක්‌ ආවත් උමග ඇතුලේ දණක්‌ උසට වතුර පිරෙනවා.. ඒ වතුර මට්‌ටම ඉණක්‌ උසට යනකල් ඉහල නගින්න වැඩි වෙලාවක්‌ යන්නේ නෑ.. උමග ඇතුලේ කොහොමත් කරුවලයිනේ.. එක වතාවක්‌ මමයි මගේ පවුලේ අයයි උමගේ වහලේ බට වල එල්ලිලා වතුර බහිනකල් බලා හිටියා.. එදා රෑ ගංවතුර ආවේ එක පාරමනේ.. අපි කවුරුවත් සූදානමින් හිටියෙත් නෑ.. ඒ වගේ අන්ධකාර සීතල රාත්‍රියක, වතුරේ පෙඟි පෙඟී, මුළු ඇඟේම හයියෙන් බටයක එල්ලිලා බයෙන් ගැහි ගැහී ඉන්න සිද්ධ වෙනවා කියන එක මොන වගේ අත්දැකීමක්‌ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. අපිත් මිනිස්‌සු.. හැබැයි අපි "නිවාස නැති කම" "දුප්පත්කම" කියන සුව කරන්න බැරි ලෙඩවලින් අසාධ්‍ය වෙලා ඉන්න මිනිස්‌සු.." ඇන්ඩි පවසයි.

ලාස්‌ වේගාස්‌ කොයිතරම් ධනවත් නගරයක්‌ වුවත්, ඇමරිකාව කොයි තරම් බලවත් රටක්‌ වුවත් මේ උමං වැසියන්ගේ ප්‍රශ්නයට නම් තවමත් විසඳුමක්‌ ලැබී නැත. නිවාස අහිමිවූවන් රැකියා අහිමිවූවන් වැඩි වෙන තරමටම උමං වාසීන්ගේ ප්‍රශ්නද ප්‍රසාරණය වෙයි.

 

නිම්මි මුදිතා හේරත් - දිවයින 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews